2016 සැප්තැම්බර් 20 වන අඟහරුවාදා

බුදුන් සරණ යාම වෙනුවට මැකියාවෙලි සරණ යෑම

 2016 සැප්තැම්බර් 20 වන අඟහරුවාදා, පෙ.ව. 12:00 129

බලය තියෙනකොට මොළේ නෑ, මොළේ තියෙනකොට බලය නෑ, කියන්නෙ ප්‍රසිද්ධ කතාවක්. කවදාවත් ප්‍රතික්ෂේප කරන්න බැරි සත්‍යයක් මේ තුළ ගැබ්වෙලා තිබෙනවා. දේශපාලනය කරන අය විතරක් නෙවෙයි, මේ ලෝකෙ ජීවත්වෙන හැම මනුස්සයාටම වටිනා අර්ථයක් මේ කතාවේ තිබෙන්නේ. නිල බලය, ධන බලය, කාය බලය ආදී විදියට මේ කතාව නොයෙක් පැතිවලට විහිදිලා යන්න පුළුවන්. හැබැයි හැම තිස්සේම බලය ඉදිරියේ බොහෝ දේ වෙනස් වෙනවා. ඒක භෞතික විද්‍යාෙව් නියාම ධර්ම වගේම මනුස්ස ලෝකෙදිත් කිසි වෙනසක් නැහැ. 
එහෙම බැලුවාම නිව්ටන් කියපු දේවල් අපේ ජීවිතවලටත් අදාළයි. බලය ලබාගන්න මිනිස්සු නොයෙක් දේ කරනවා. බොහෝ දෙනෙක් හිතන දෙයක් වෙන්නේ බලය ලබාගැනීම තමයි දුෂ්කරම කියලයි. ඒත් බලය තිබුණු, බලය තිබෙන හා ගිලිහුණු බොහෝ දෙනෙක් ඇත්ත, ඊට වඩා ගොඩක් වෙනස් බව හොඳටම දන්නවා. ලබාගත් බලය රඳවාගැනීමේ දුෂ්කර කාර්යයට බොහෝ දෙනෙක් මුහුණ දෙනවා. අමාරැම දේ ඒකත් නෙවෙයි. අන්න ඒ තත්ත්වයට මුහුණදෙන බලවතුන් බලය රුකගැනීම පිණිස ඕනෑම අසුන්දර දෙයක් කරන තැනට පත් නොවී සිටීමයි. ඇත්තටම බලවතුන් හමුවේ දුබලයා පරාජය වන බවට අපි හැමෝම අතරේ මතයක් තිබුණත් ගැඹුර හොයාගෙන ගියාම දකින්න තිබෙන්නේ වෙනත් දෙයක්. ඒ තමයි බලය හමුවේ බලවතාම පරාජයට පත්වීම. මේක ශිෂ්ටාචාරය පුරා සිදුවූ දෙයක්. ලබාගත් බලය අර්ථවත් හැටියට පාවිච්චි කරන්න බොහෝ දෙනකුට තේරෙන්නේ නෑ. ඒ නිසා තවත් මිනිසකුව පීඩාවට පත්කරන විදියට ඒ බලය පාවිච්චි කරන්න බොහෝ දෙනෙක් පෙළඹෙනවා. 
පීඩාවට පත්කරන බලය ගැන කතාකරද්දී මේ රටේ මිනිස්සුන්ට මතක් වෙන්නේම විධායක ජනාධිපතිකම. හැබැයි අනෙකාව පීඩාවට පත්කරන්න මේ රටේ ලෝකෙ පාවිච්චි වෙන එකම තනතුර විධායක ජනාධිපතිකම විතරද? ඒක ජනප්‍රිය මිථ්‍යාවක්. ගෘහ මූලිකයාගේ පටන් පූජකයා, විදුහල්පතිවරයා, ආයතනාධිපතිවරයා,  කම්හල් හිමිකරැවා දක්වා මේ වැඩේ කරනවා. හැබැයි බලය කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ දේශපාලකයොයි, විධායක ජනාධිපතියි විතරයි. වැඩිය ඕන නෑ. ඔය මාරම මාර ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් කතා කරන පක්ෂ ඇතුළේ බලය පාවිච්චි කරන්නෙ කොහොමද? පවුල් සංස්ථාව ඇතුළේ පියා, ආගම තුළ පූජකයන් මේ විදියට හැම මනුස්සයාම තමන්ට හිමි බලය එදිනෙදා ජීවිතයේදී පාවිච්චි කරනවා. ඒ හැමකෙනාටම බලය රුකගන්න කැත වැඩ කරන්න වෙනවා. වඩාත්ම අපහසු වුණත් සුන්දරම දේ වන්නේ ලැබුණු බලය පොදු ජනයා වෙනුවෙන් පාවිච්චි කිරීමයි. ඒක ඉතාම මනරම් විදියට භාවිතයෙන් ඔප්පු කළ පුද්ගලයකු වුණා නම් ඒ බුදුන් වහන්සේයි. සත්‍ය වශයෙන්ම බුදුන් වහන්සේ තම අනූපමේය වූ බලය පාවිච්චි කළේ සකළ සත්ත්ව වර්ගයාට මිසක් මනුෂ්‍යයන්ටම පමණක් නොවෙයි. එහෙම බැලුවාම දේශපාලකයන්ට පාඩම් ඉගෙන ගන්නවා නම් අනගිම තැනැත්තා වන්නේ බුදුන් වහන්සේයි. 
අවාසනාවකට වගේ අපේ රටේ බොහෝ මතවාද පැලපදියම් වෙලා තිබෙන්නේ බටහිර දර්ශනයම මූලික කරගෙනයි. බලය ගැන පාඩම් ඉගෙන ගන්න ලෝක ඉතිහාසය පුරාම මිනිස්සු පුරැදු වෙලා ඉන්නෙත් මැකියාවෙලිලා දිහා බලලයි. බලය අපහරණය නොකර සියලු සතුන්ට සේවය කරන්නේ කොහොමද කියලා උගන්නපු මහා දාර්ශනිකයාට වඳින පුදන සමාජයක් මැකියාවෙලිලා කියපු කුමාරවරැ වෙන්න හදන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක්. බලය අත්හරින්න බලාගෙන බලයට ආපු අයටත් බුද්ධ ජීවිතය දිහා බලලාවත් හැදෙන්න පුළුවන් නම් ඊට වැඩිය දෙයක් නෑ. පුරවැසි බලයක් ගොඩනගන්න යන, බලය ගිලිහුණේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයකින්ය කියන, රාවණාගේ බලය පස්සේ දුවන, මේ කොයි කවුරැත් බුදුන් වදාළ දහම ගැන හරිහැටි හොයලා බැලුවාද? ඉතින් අපට කුමාරයා වෙනුවට බුද්ධ චරිතය කියවන්න බැරිද? 

ධනුක ප්‍රභාත් රණසිංහ
ඉංගිරිය